ශ්‍රී ලංකාවේ නිර්දේශිත මඤ්ඤොක්කා ප්‍රභේදයන්හි පත්‍ර හා අල වල සයනයිඩ් ප්‍රතිශතය

අතීතයේ පටන් මඤ්ඤොක්කා යනු ශ්‍රී ලාංකික ජන ජීවිතය හා තදින් බද්ධ වී පැවතුන අල බෝගයක්. මඤ්ඤොක්කා පඳුරක් දෙකක් ඉන්දගෙන නොමැති ගම්ගෙයක් එදා සොයාගත හැකි වී නම් ඒ කලාතුරකිනි. එදා සේම අදත් ප්‍රධාන ආහාර වේල් වලට පවා මඤ්ඤොක්කා ආදේශකයක් වන අතර එය අල බෝග අතරින් කාබෝහයිඩ්‍රේට් බහුලව අඩංගු අල බෝගයක්. වර්තමානය වන විට අපේ රට තුළ මඤ්ඤොක්කා විශාල වශයෙන් වගා කිරීමේ ප්‍රවණතාවයක් පවතින අතර, මේ වන විට අපනයන මට්ටම දක්වා පැමිණ ඇත. එසේම මඤ්ඤොක්කා වලින් සැකසූ විවිධ ආහාර නිපැයුම් අද වෙළඳපොලේ සුලභය. අල බෝගයක් ලෙස මෙන්ම පත්‍ර, කොළ එළවළුවක් ලෙසත් භාවිත කරන අතර, ප්‍රෝටීන්, කැල්සියම් හා විටමින් වලින් පරිපූර්ණය.

මඤ්ඤොක්කා අල හෝ කොළ ආහාරයට ගැනීමට මිනිසුන් කෙතරම් රුචිකත්වයක් දැක්වුවද එහි ඇති සයනයිඩ් නම් රසායනිකය හමුවේ මඤ්ඤොක්කා පරිභෝජනය ගැන ජනතාව දෙවරක් සිතීමට පුරුදුව ඇත. මේ හේතුවෙන් අතීතයේ පටන් අපේ ගෘහණියන් මඤ්ඤොක්කා තම්බන විට පියන ඇර තැම්බීමට නිරායාසයෙන් පුරුදු වි සිටියි.

මේ වන විට කෘෂිකර්ම දෙපාර්මේන්තුවෙන් මඤ්ඤොක්කා ප්‍රභේද 7 ක් වගාකිරීම සඳහා නිර්දේශ කර ඇති අතර, ඒ එක්  එක් ප්‍රභේදයන්හි අලවල හා පත්‍ර වල සයනයිඩ් ප්‍රතිශත එකිනෙකට වෙනස් වේ.  තවද මඤ්ඤොක්කා වගා කර ඇති පසේ  පවතින නයිට්‍රජන් ප්‍රමාණය අස්වනු නෙළන අවස්ථාව සහ අතු කැපීම වැනි කටයුතු නිසා අන්තර්ගත  සයනයිඩ් ප්‍රතිශතයේ වෙනස්කම් ඇති වේ.

විෂ බව අනුව මඤ්ඤොක්කා පැණිරස හා තිත්ත ලෙස වර්ග 2 කට වෙන්කර දැක්විය හැකිය. විෂ බවින් යුත් සයනයිඩ් ශාකය තුළ නිපදවන්නේ එන්සයිමීය ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් ලෙසයි.  මෙය වාෂ්පශීලි වන අතර-, ආස්වාසයෙන්, සමෙන්, ස්පර්ශයෙන් හා ආහාර මාර්ගය තුළින් ශරීරගත විය හැකිය. සයනයිඩ් ශරීරගත වීම නිසා විවිධ රෝග ලක්ෂණ ඇති වේ. හිසරදය, වමනය, ස්වසන අපහසුතා, සිහිනැති වීම හා අවසානයේ මරණය පවා ඇතිවිය හැකිය. මෙයට හේතුව වන්නේ සයනයිඩ් අණු ස්වසන ක්‍රියාව අඩපණ කරවීමයි.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් නිර්දේශ කර ඇති කිරිකවඩි නම් මඤ්ඤොක්කා ප්‍රභේදය ජනප්‍රිය වුවද ඇතැම් අවස්ථාවල එම ප්‍රභේදයේ අල පරිභෝජනයෙන් පසු විවිධ සංකූලතා වාර්තා වී ඇති අතර, වමනය, බඩේ කැක්කුම, හිසරදය ඉන් කිහිපයකි. මේ නිසා නැවත වතාවක් සියළුම මඤ්ඤොක්කා ප්‍රභේද වල සයනයිඩ් ප්‍රතිශතය සෙවීමේ කාලීන අවශ්‍යතාවයක් පැන නැගුණු අතර, ඒ සඳහා පර්යේෂණයක් දියත් කිරීමට උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය පියවර ගන්නා ලදී.

උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ පර්යේෂණ ක්ෂේත්‍රවල වගා කළ මාස 08 ක් වයසැති නිර්දේශිත ප්‍රභේද හතම මේ සඳහා යොදා ගන්නා ලදී. මඤ්ඤොක්කා පත්‍ර හා අල, වෙන වෙනම මෙහිදී පර්යේෂණයට භාජනය කරන ලදී. මඤ්ඤොක්කා අල එහි පිටත වූ ඝණකම් පොත්ත සහිතව හා රහිතව ලෙස වෙන වෙනම පර්යේෂණයට ලක් කරන ලදී. මෙහිදී රසායනික පර්යේෂණ කටයුතු සියල්ල පශු පර්යේෂණ ආයතනයේ පර්යේෂණාගාරය තුළදී සිදු කරන ලදී.

මඤ්ඤොක්කා ශාකයට භෞතිකව සිදුවන හානි හෝ කැපීම් සීරීම් සමඟ සයනයිඩ් නිදහස් වීම ආරම්භ වේ. සයනයිඩ් වාෂ්පශීලි සංයෝගයක් වන බැවින් එම වාෂ්ප 1% සෝඩ්යම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවනයක් තුළට අවශෝෂණය කර ගැනීම මෙම පර්යේෂණයේ මූලික ක්‍රියාදාමය විය. පසුව එම සයනයිඩ් ප්‍රමාණය ගණනය කර ගැනීමෙන් ප්‍රභේදයන්ගේ පත්‍ර හා අල වල සයනයිඩ් ප්‍රමාණය නිරීක්ෂණ කර ගන්නා ලදී.

දැනට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කර ඇති  ප්‍රභේද ලෙස MU 51- CARI 555, MORDI MU - 1  ශානි, ස්වර්ණ, සුරනිමල හා කිරිකවඩි දැක්විය හැක. පර්යේෂණයේදී ඉහත සියලු වර්ග වල සයනයිඩි ප්‍රතිශතය 50ppm g (ppm -  මිලියනයක අඩංගු අංශු කොටස් ගණන ) වඩා අඩු අගයක් ලැබූ අතර, ආහාරයට  ගැනීම සුදුසු වන්නේ ද 50 ppm ට අඩු ප්‍රතිශතයක් ඇති ප්‍රභේද වේ. මන්ද යත් මඤ්ඤොක්කා ප්‍රභේදවල සයනයිඩ් ප්‍රමාණය අනුව විෂ බව තීරණය වන බැවිනි. ඒ අනුව පහත ලෙස මඤ්ඤොක්කා වර්ග කළ හැකිය.

  • 50 ppm ට අඩු - පැණිරස වර්ගය
  • 50 - 100 ppm  මද විෂ වර්ග
  • 100 ppm ට වැඩි විෂ වර්ග

කරන ලද පර්යේෂණයෙන් ලැබුණු ප්‍රතිඵල වලට අනුව දළු හා මධ්‍යස්ථ පත්‍ර ඵල ප්‍රභේද වල වෙනස්කම් පහත පරිදි ලැබුණි.
අග්‍රස්ථය හා තුන්වන පත්‍රය තෙක් පත්‍රවල සයනයිඩ් ප්‍රමාණය ගැන සැලකූ විට එම අගය වැඩිම වන්නේ කිරි කවඩි හා CARI 555 යන ප්‍රභේද දෙකෙහි බව මෙම පර්යේෂණයෙන් තහවුරු විය. එම අගය 28-30 ppm පමණ වේ.
මධ්‍යස්ථ පත්‍රවල සයනයිඩ් ප්‍රමාණය ද වැඩිම අගයක් පෙන්නුම් කරන්නේ කිරි කවඩි ප්‍රභේදයයි. එම අගය 840 ppm වේ.

මෙම අගය අඩුම වන්නේ  PHORDI MU-1 ,  ශානි හා MU-51 යන ප්‍රභේදවල මධ්‍යස්ථ පත්‍ර  වලය. එම දත්ත වලට අනුව පත්‍ර වල අග්‍රස්ථයේ ද මධ්‍යස්ථ පත්‍රවල ද එවැනි සයනයිඩ් ප්‍රමාණයක් කිරි කවඩි ප්‍රභේදයේ දක්නට ලැබේ. මේ අනුව මඤ්ඤොක්කා පත්‍ර ආහාරයට ගන්නේ නම් ඒ සඳහා වඩාත් සුදුසු වන්නේ මධ්‍යස්ථව මේරූ පත්‍රය. අල වල පොත්ත සහිත මෙන්ම පොත්ත රහිත ලෙස සිදුකළ පර්යේෂණයේ දත්ත වලට අනුව කිරි කවඩ් ප්‍රභේදයේ වැඩි සයනයිඩ් ප්‍රමාණයක් පෙන්නුම් කරයි. මේ අනුව කිරි කවඩි ප්‍රභේදයේ පත්‍ර හා අල වල වෙනත් ප්‍රභේද වලට වඩා වැඩි සයනයිඩ්  ප්‍රමාණයක් පෙන්නුම් කරන බව පෙනීයයි. නමුත් මෙම අගය 50චචප ට වඩා අඩුය. එබැවින් ආහාරයට ගැනීම හානිදායක නොවේ.

පර්භෝජනය සඳහා සුදුසු වර්ග ලෙස නිර්දේශ කර ඇත්තේ සයනයිඩ් ප්‍රමාණය 50ppm ට වඩා අඩු ප්‍රභේද වන අතර කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් නිර්දේශිත ප්‍රභේද සියල්ලම 50ppm ට වඩා අඩු සයනයිඩ් ප්‍රමාණයක් පෙන්නුම් කරයි. එනම් ආහාරයට ගැනීම ආරක්ෂිතය. නමුත් වැඩි නයිට්‍රජන් ප්‍රමාණයක් පසේ ඇති විට මෙම අගයන් වෙනස් වී වැඩි සයනයිඩ් ප්‍රමාණයක් නිදහස් කරන බැවින්  මඤ්ඤොක්කා වගා වලට  පොහොර යෙදීමේ දී සැලකිලිමත් විය යුතුය.

මඤ්ඤොක්කා පත්‍ර ආහාරයට ගැනීමේ දී කිරි කවඩි ප්‍රභේදය හැර වෙනත් වර්ග ගැනීම වඩාත් ආරක්ෂිතය. මන්ද මඤ්ඤොක්කා පත්‍ර, කොළ එළවළුවක් ලෙස පිළියෙල කිරීමේ දී වැඩි කාලයක් තැම්බීමට ලක් නොකරන බැවින් මෙම වාෂ්පශීලි සයනයිඩ් ඉවත් නොවීමට ඉඩකඩ වැඩිය.

කෙසේ වෙතත් මෙම සයනයිඩ් නිෂ්පාදනය එන්සයිමීය ක්‍රියාදාමයක් වන නිසා වැඩි උෂ්ණත්වයේ දී ක්‍රියාව ඇනහිටින අතර, නිෂ්පාදනය වී ඇති සයනයිඩ් වාෂ්ප වී ඉවත් වේ. මේ නිසා මඤ්ඤොක්කා පිසීමේදී භාජනයේ පියන ඇර තැමිබීම හෝ පිසීම වැදගත් වේ. සයනයිඩි විෂ වීමෙන් ජීවිත හානි පවා සිදුවන අතර, සයනයිඩ් ප්‍රමාණය දන්න නිර්දේශිත ප්‍රභේද වගා කර පරිභෝජනයට යොදා ගැනීම ඉතා වැදගත් මෙන්ම ආරක්ෂිත ක්‍රියාමාර්ගයකි.

සත්ත්ව ආහාර ලෙසත් මඤ්ඤොක්කා යොදා ගත හැකි අතර, එහිදී මඤ්ඤොක්කා වැඩි ප්‍රමාණයක් යොදා ගන්නා නිසා වැඩි සයනයිඩ් ප්‍රමාණයක් ශරීර ගත වේ. එවිට සතුන්ට ද ව්ව්ධ හානි සිදුව්ය හැක. ඒ අතර ගඛ්සා වීම් වැනි තත්ත්ව ඇතිවීම වඩාත් භයානකයි. දේශීයව මඤ්ඤොක්කා වර්ග රාශියක් ඇතත් සයනයිඩ් ප්‍රමාණය දන්නා වර්ග භාවිතය ආරක්ෂිත වේ.

මේ නිසා මිනිස් හා සත්ත්ව ආහාර ලෙස සයනයිඩ් අඩු පැණිරස ප්‍රභේද, විශේෂයෙන්ම කෘෂිකර්ම දෙපාර්මේන්තුවේ නිර්දේශිත වර්ග යොදා ගැනීම සයනයිඩ්  විෂ වීමෙන් සිදුවන හානි වළක්වා ගැනීම සඳහා වඩාත් උපකාරී වේ.

මඤ්ඤොක්කා පත්‍ර ආහාරයට ගැනීමේදී ද එහි අඩංගු සයනයිඩ් ප්‍රමාණය දළු කොටස් වල වැඩි බැවින් අග්‍රස්ථ දළු වලට පහළින් වූ පත්‍ර ආහාරයට ගැනීම ආරක්ෂිත වේ. එමෙන්ම මඤ්ඤක්කා පත්‍ර පිසීමෙදී ව්නාඩි 20 ක් පමණ තැම්බීමෙන් 75% පමණ සයනයිඩ් ප්‍රතිශතය අඩු කර ගත හැකිය.

 

සැකසුම
එන්.එල්.ඒ.ටී.එස්.නානායක්කාර
උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය - ගන්නෝරුව .

පර්යේෂණ සඳහා දායකත්වය.
එස්.එම්.එස්.ඒ.සුමතිපාල.
එන්.එන්.රාජපක්ෂ.
උද්‍යාන භෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය - ගන්නෝරුව.

ජී.පී.සි. ප්‍රේමලාල්.
ඊ.ආර්.අයි.ඛී.එන්.එන්.ජයලත්.
පශු පර්යේෂණ ආයතනය - ගන්නෝරුව

 

උඩවැඩියා වගාව

ඕකිඞ් හෙවත් උඩවැඩියා යනු ඕකිඬේසියේ (Orchidaceae) ශාක කුලයට අයත් ඒකබීජ පතී‍්‍ර බහුවාර්ෂික පැළෑටි කාණ්ඩයකි. මෙම කුලයට අයත් උඩවැඩියා විශේෂ 20,000 ඉක්මවෙන අතර දෙමුහුම් කර වැඩිදියුණු කළ උඩවැඩියා විශාල ප‍්‍රමාණයක් පවති. එම නිසා මෙම මල් වැඩි විවිධත්වයකින් යුක්තවන අතර විවිධ වර්ෂයෙන් පුළුල් පරාසයක විහිදි පවති. මෙම මල් වැඩි වශයෙන් ජනප‍්‍රිය වීමට හේතුව වී ඇත්තේ ද එයයි.

මෙම ශාක විවිධ පරිසර වල වැඩෙන අතර ශාකයේ පැවැත්ම සඳහා නිශ්චිත වූ පරිසර සාධක අවශ්‍ය වේ. මෙම ශාක වැඩෙන ස්ථාන අනුව කොටස් 2 කි.

  1. භෞමික ඕකිඩි -Terrestrial Orchids
  2. අපිශාක ඕකිඩි -Epiphytic Orchids

භෞමික ඕකිඞ්

ශාක අවට තෙතමනය ඇති ස්ථානවල, දිරූ කොළ පෙහොර සහිත ජලය බැසයන කාබනික පස මත වැඩෙයි. මෙම ශාකවල හටගන්නා මල් සඳහා කැපූ මලක් ලෙස වටිනාකමක් නොමැත.

අපිශාක ඕකිඞ්

තෙතමනය අධික ස්ථානවල ඇති ගස්වල අතු මත වැඩෙයි. ශාකයට අවශ්‍ය ජලය හා පෝෂණය වාතාශ‍්‍රයේ ඇති ජල වාෂ්ප හා වර්ෂා ජලයේ ඇති ඛණිජ ලවණ මඟින් ලබා ගනී. නිවර්තන කලාපීය රටවල බහුල වශයෙන් දක්නට ලැබෙන අතර කැපුම් මල් සඳහා වැඩි වශයෙන් භාවිතා කරයි.

මෙම ශාක සියල්ලේ වර්ධන විලාසය අනුව ආකාර දෙකකි.

  1. ඒකපාදී වර්ධන විලාසය
    ශාකයේ වර්ධන අග‍්‍රය කදෙහි ඉහළින් පිහිටමින් සිරස්ව වර්ධනය වේ. මෙම ශාක තනි අංකුරයකින් සමන්විත වේ
    උදා -Vanda" Arachnis
  2. බහුපාදී වර්ධන විලාසය
    ශාකයේ වර්ධන අගය කදෙහි පහළින් පිහිටමින් තිරස්ව වර්ධනය වේ.මෙය අංකුර (ව්‍යාජ බල්බ) කිහිපයකින් සමන්විත වන අතර කද ‍රෛයිසෝමයකි උදා - Dendrobram, Catteya, Oncidium

 

ශ්‍රී ලංකාවේ කැපූ මල් වගාවන් සඳහා සුදුසු උඩවැඩියා

ඩෙන්ඩ්‍රෝබියම් (Dendrobium)

ශි‍්‍ර ලංකාවේ කැපූ මල් ලෙස උඩවැඩියා වගා කිරීමේ දී ආර්ථික ලෙස වඩාත් වාසිදායක වනුයේ ඩෙන්ඩ්‍රෝබියම් වේ. මේවා බහුපාදි වර්ධන විලාසයකින් යුතු අපිශාක වේ. දිගු ව්‍යාජ බල්බ සහිතය. ඒවා රෛයිසෝම මත එකිනෙකට ලඟින් ඇහිරි ඇත. එම මල් කැපුම් මල් ලෙස වඩා වැදගත් වනුයේ එහි වේගවත් වර්ධනයක් විවිධ වර්ණවලින් යුතු දිගු පුෂ්ප මංජිරි පැවැතීමත් දිගු කල් පවත්වා ගැනීමේ හැකියාවත් නිසාය.
ඩෙන්ඩ්‍රෝබියම් මලෙහි හැඩය හා රෝපණ ක‍්‍රියා පදනම් කරගෙන ප‍්‍රධාන ආකාර තුනකට වර්ග කරයි.

12 orchid 04
1. පැලනොප්සිස් දර්ශය (Phalaenopsis type)

මෙම දර්ශයේ මල් විශාලය. රවුම්ය. දළ පත‍්‍ර හා මනි පත‍්‍ර එකිනෙක මත අතිපිහිතවී මල් සළඹයෙකුගේ හැඩය ගනී. හොඳ කල් පැවැත්මක් සහිත ආකර්ෂණීය පෙනුමෙන් යුක්ත වන නිසා මෙයි කැපුම් මල් සඳහා සුදුසුය.

12 orchid 04
2. කේන් දර්ශය (Cane Type)

කේන් දර්ශය මල්වල දළ පත‍්‍ර හා මනි පත‍්‍ර ඇඹරීම නිසා මකුලුවකුගේ ස්වරූපයක් ගනී. දිගු මල් කිනිති දරයි. කැපුම් මල් සඳහා එතරම් සුදුසු නොවේ.

12 orchid 04
3. අතරමැදි දර්ශය (Intermediate Type)

පැලනොප්සිස් හා කේන් ආකාර දෙමුහුමෙන් ලබා ගන්නා අතර ඒ ආකාර දෙක අතර අතරමැදි ලක්ෂණ පෙන්වයි. කැපුම් මල් සඳහා වඩාත් සුදුසු වේ.

 

1. වැන්ඩා (Vanda)

අඛණ්ඩ වර්ධනයක් සහිත ඒකපාදී වර්ධන විලාසයෙන් යුත් ඕකිඩ් ගණයකි අපිශාක වේ. පත්‍රවල හැඩය අනුව ප්‍රධාන ආකාර 3කට වර්ග කරයි.

12 orchid 04
1. පටි ආකාර පත්‍ර සහිත වැන්ඩා (Strap Leaved Vanda)

පත්‍ර පටි ආකාරයක් ගනී. විශාල අලංකාර මල් සහිත වන අතර,මල්වල රටාවන් දැකිය හැක. ඒවායේ කල් පැවැත්ම වැඩිය.වාර්ෂිකව හටගන්නා මල් ප්‍රමාණය අඩු බැවින් බඳුන්ගත පැළෑටියක් සඳහා සුදුසුයි.කැපුම් මල් සඳහා යෝග්‍ය වේ.

12 orchid 04
2. නලාකාර වැන්ඩා (Terete Leaved Vanda)

පත්‍ර නලාකාර මාංසලමය වේ. පූර්ණ සූර්යාලෝකය යටතේ වැඩෙයි.කැපුම් මල් ලෙස එතරම් ජනප්‍රිය නොවේ.

12 orchid 04
3. අර්ධ නලාකාරවැන්ඩා : (Semi Terete Vanda)

පටි ආකාර වැන්ඩා හා නලාකාර වැන්ඩා දෙමුහුමෙන් ලබාගෙන ඇත. ඉහත ආකාර දෙක අතරමැදි ලක්ෂණ පෙන්වයි. පීලි හැඩති නැමුණq පත‍්‍ර දක්නට ලැබේ. පූර්ණ සූර්යාලෝකයට හුරුකර එළිමහනේ වගාකළ හැක. මල්වල කල්පැවැත්ම වැඩිය. කැපුම් මල් සහ බදුන්ගත පැළ සඳහා යෝග්‍ය වේ.

12 orchid 04
4. කැටලියා

බහුපාදී වර්ධන විලාසයක් සහිත අපිශාකයකි. සෙමින් ව‍ෙඩේ. විවිධ වර්ණයන්ගෙන් යුත් ඉතා ආකර්ෂණීය විශාල මල් හටගනි. මල් කිනිත්තක ඇති මල් ප‍්‍රමාණය හා වාර්ෂිකව හටගන්නා මල් කිනිති ප‍්‍රමාණය අඩුවේ. වැඩි වටිනාකමකින් යුත් බදුන්ගත පැළෑටියක් ලෙස යෝග්‍ය වේ.

 

2.ඔන්සිඩියම් (Oncidum)

බහුපාදී වර්ධන විලාසයන් දරණ අතර හෞමික හා අපිශාක යන ආකාර දෙකම දක්නට ලැබේ. මල්වල ඇති විශේෂත්වය නම් ඒවා නැට්ටුවෙකුගේ හැඩය ගැනීමයි. කැපුම්මල් සඳහා හා බඳුන්ගත පැල සඳහා යොදා ගනී.

 

3.පැලනොප්සිස්: (Phalaenopsis)

ඒකපාදි වර්ධන විලාසයෙන් යුත් අපි ශාකයෙකි. කෙටි කදක් හා මංසල පත‍්‍ර දක්නට ලැබේ. මල් සලඹයෙකුගේ හැඩය ගන්නා අතර කල් පැවැත්ම වැඩිය. බඳුන්ගත පැළෑටි සඳහා හා කැපුම් මල් සඳහා යොදා ගනී.

 

උඩවැඩියා වගාව සඳහා අවශ්‍ය දේශගුණික සාධක

  1. උෂ්ණත්වය - දිවා කාලයේ උණ්ණත්වය 25C0- 30C0 අතර පැවැතිය යුතු අතර රාත‍්‍රී කාලයේ උෂ්ණත්වය 15C0 ට වඩා අඩු නොවිය යුතුය.
  2. ආර්ද්‍රතාවය - මෙයින් අදහස් කරනුයේ වායුගෝලයේ තිබිය යුතු ජල වාෂ්ප ප‍්‍රමාණයයි. මෙය 70% -75% අතර තිබිය යුතුය.
  3. සූර්යාලෝකය - උඩවැඩියා ශාක සඳහා උදෑසන සූර්යාලෝකය වැදගත් වේ. දවස පුරාම ඒකාකාරි සුර්යාලාaකයක් ලැබෙන ස්ථානයක තවාන් සැකසීම සදහා තෝරා ගත යුතුය. උඩවැඩියා ශාක ගණය අනුව ලබාදිය යුතු ආලෝක ප‍්‍රතිශතය වෙනස් වේ.
    ශාක ගණය ලබාදිය යුතු ආලෝක ප‍්‍රතිශතය
    ඩෙන්ඩ්‍රෝබියම්  50-60%
    වැන්ඩා 50-60%
    ඔන්සීඩියම් 50-60%
    කැටලියා 50%
    පැනෝප්සිස් 40%
     

 

උඩවැඩියා වගාව සඳහා සෙවන ගෘහයක් සකස් කිරීම

වගාව සඳහා සුදුසු ස්ථානයක් තෝරාගෙන පසුව එහි සෙවණ ශාකයක් සකස් කළ හැක. මේ සඳහා උඩවැඩියා ගණයට අවශ්‍ය පරිදි සෙවණ දැල් තෝරා ගත යුතුය. සෙවණ ගෘහය සෑදීම සඳහා GI බට හෝ එල් අයන් යකඩ කනු හෝ කෝන්ක‍්‍රීට් කනු භාවිතා කළ හැක. සෙවණ දැල් රැදවීම පොළොව මට්ටමේ සිට අඩි 10- 12 උසකින් තිරස්ව සිදු කළ යුතුය.

පැල රැදවීමට මේස සකස් කිරීම

පැල රැදවීම සඳහා පොලව මට්ටමේ සිට අඩි 2 .5 උසින් යුත් මේස සකස් කර ගත යුතුය. ඒවා ජලය බැසයන ආකාරයට සකස් කළ යුතු අතර, මේ සඳහා කොන්ක‍්‍රීට් පටි හෝ යකඩ කනු කම්බි දැල් භාවිතා කළ හැක. මේසයේ පළල අඩි 4 .5 - 5 වන ලෙස සකස් කළ යුතුය. අවශ්‍ය ප‍්‍රමාණයට දිග සකස් කරගත හැක.

පැළ බදුන්ගත කිරීම

මේ සඳහා දැව අගුරු යොදා ගනී. අඟුරු නිෂ්පාදනයේ දී තරමක් මේරූ දැව වර්ග යොදා ගැනීම සුදුසු වේ. මෙයට අමතරව අඟුරු සමඟ උළු කැබලි හෝ හොදින් පොල් ලෙලි කැබලි 1 : 1 අනුපාතයට මිශ‍්‍ර කර භාවිතා කළ හැක.
උඩවැඩියා ශාක සඳහා සෙවණ දැලට අමතරව UV ප‍්‍රතිකාර කරන ලද පොලිතින් හෝ වීදුරු වහලක් යටතේ වගා කරන්නේ නම් පහත සඳහන් මාධ්‍ය භාවිතා කළ හැක
මාධ්‍ය 2 අඟුරු 1 චිප්ස් ගල් කැබලි 1 කොහුබත්1( 2.5mm) (සෙ.මි. 1 ගණකම) ඉහත මාධ්‍යයට, සෙමින් මාධ්‍යයට එකතු වන කැට පොහොරක් එකතු කළ හැක.බඳුන් ලෙසමැටි සිමෙන්ති බදුන් හෝ ප්ලාස්ටික් බදුන් භාවිතා කළ හැක. මෙම බදුන්වල පාර්ශ්වික වශයෙන් සිදුරු පවතින ආකාරයට සකස් කළ යුතු අතර ඒවා මඟින් ශාකවල මූල පද්ධතියට වාතාශ‍්‍රය ලැබීම සිදුවේ.
තාවාන් ආරම්භ කිරීත්‍ම් දී පැළ 25 ක් පමණ අඩංගු වන සාමුහික බදුන් යොදා ගැනීම ලාභදායකය. සාමුහික බදුනක ඇති පැල අඟල් 2 - 3 ක් අතර ප‍්‍රමාණයට වැඩුණු පසු බදුනෙන් පැළ ඉවත් කර අඟල් 2 විශ්කම්භයක් ඇති අඟල් 2 පමණ උස වූ බදුණක රෝපණය කළ යුතුය. එම බදුනේ පැළයක් අඟල් 6 ක් පමණ උසට වැඩුණු පසු අඟල් 5 ක් පමණ විශ්කම්භයක් ඇති අඟල් 5 ක් පමණ උස් වූ බදුනක එම පැළ රෝපණය කළ යුතුය. මල් එන අවස්ථාව දක්වාම අඟල් 5 බදුන තුළ පැළ වර්ධනය වීමට සැලැස්විය යුතුයි.

ජලය යෙදීම.

උඩවැඩියා ශාකවලට ක්ලෝරින් සහිත ජලය භාවිතා කිරීම සුදුසු නොවේ. වැසි ජලය ළිං ජලය හා වෙනත් වාරි මාර්ගයකින් ලබා ගන්නා පිරිසිදු ජලය භාවිතා කිරීම යෝග්‍ය වේ. ක්ලෝරින් සහිත ජලය භාවිතා කරන්නේ නම් පැ. 24 ක කාලයක් විවෘතව ටැංකියක රදවා තබා පසුව යෙදිය හැක.
උඩවැඩියා වගාව සඳහා ජලය යෙදීමේ දී බදුන් වියළි තත්ත්වයෙන් පවති නම් පමණක් ජලය යෙදීම කළ යුතුය. වැසි සහිත කාලගුණික තත්ත්ව වලදී උඩවැඩියා සඳහා ජලය යෙදීම අවශ්‍ය නොවේ. සාමාන්‍ය කාලගුණික තත්ත්ව යටතේ දිනකට එක් වරක් ද වියළි කාලගුණික තත්ත්ව යටතේ දී දිනකට දෙවරක් ද (උදේ නවස) ජලය යෙදීම සුදුසුය. එමෙන්ම වියළි කාලගුණික තත්වයක් සහිත දින වලදී තාවන් අවට තෙත්ව තබා ගැනීමෙන් වායුගෝලීය ආර්ද්‍රතාවය වැඩිකර ගත හැක.

පොහොර යෙදීම.

උඩවැඩියා ශාකවලට පොහොර යෙදීමේ දී දියරමය තත්වයෙන් පමණක් පොහාර යෙදීම කළ යුතුය. ශාකවල මල් පත‍්‍ර තෙමෙන පරිදි දියර විදිනයකින් ඉසිය යුතුය. හොදින් හිරු එළිය පවතින දිනවලදී උදේ වරුවේ පමණක් හොහොර යෙදීම සිදු කළ යුතුය.
උඩවැඩියා ශාක සඳහා කාබනික සහ අකාබනික වශයෙන් පෙහොර වර්ග 2ක් භාවිතා කරයි. කාබනික පොහොර මගින් ශාකවලට අත්‍යවශ්‍ය අංශුමාත‍්‍ර මූල ද්‍රව්‍ය ලබා දීම සිදු කරයි. මෙම පොහොර සතියකට එක් වරක් සියලුම වයස්වල පැළ සඳහා භාවිතා කළ යුතුයි.

අකාබනික පොහාර.

අකාබනික පොහාර මගින් ශාකයට අවශ්‍ය වන ප‍්‍රධාන මූලද්‍රව්‍ය වන නයිට‍්‍රජන් (N) පොස්පරස් (P) හා පෙටෑසියම් (K) ලබාදෙයි. එය සතියකට දෙවරක් ශාකයේ වයස අනුව NPK අනුපාතය වෙනස් කරමින් යොදනු ලැබේ.

  1. කුඩා අවධියේ පැල සඳහා යොදන පොහොර
    මෙම පොහොරවල ශාකවල වර්ධනය අඩු අවස්ථාවලදී පමණක් භාවිතා කරයි. උදා NPK 30:10:10 හෝ 28:14:14
  2. මධ්‍යම අවධියේ යොදන පොහොර
    මෙහිදි සමතුළිත පොහොර මිශ‍්‍රන භාවිතා කිරීම සිදුකරයි. උදා - NPK 20:20:20 හෝ 18:18:18 එසේම මෙම අවධියේ ශාකවල වර්ධනය වැඩි කිරීම සඳහා පොස්පරස් වැනි පොහොර වර්ග ද භාවිතා කරයි. උදා. NPK - 15:30:15, 10:30:20
  3. මල් පිපෙන අවදියේ පැළ සඳහා යොදන පොහොර
    මේ සඳහා පොටෑසියම් වැඩි පොහොරක් හෝ පොස්පරස් හා පොටෑසියම් වැඩි පොහොර භාවිතා කරයි. මල් කැපීමෙන් සති 2කට පමණ පසු :භඡුණ* සමාන අනුපාතයක් ඇති පොහොරක් භාවිතා කරයි. උදා - NPK 10:20:30" 6:30:30

 

උඩවැඩියා වගාවේ බහුලව දක්නට ලැබෙන රෝග

  1. බැක්ටීරියානු කුණුවීම
    ශාකයේ විවිධ කොටස්වල දක්නට ලැබේ. පත‍්‍රවල තෙත් බවින් යුත් පැල්ලම් හටගනී. පසුව ඒවා විශාල වී දුඹුරු පැහැයට හැරී මෘදු ස්වභාවයක් ගනී. සැර දුඟදක් හමයි. මෙම රෝගය මර්දනයට රෝගී කොටස් කපා පිළිස්සීම.

උඩවැඩියා වගාවේ දක්නට ලැබෙන පළිබෝධ හානි

12 lema pectoralis

1. කහ කුරුමිණියාගේ හානිය
Lema Pectoralis නැමති 8 mm පමණ දිග ඇති මෙම කෘමියා හා කීටයා ළපටි පත‍්‍ර පොහොට්ටු හා පුෂ්ප කා දමන අතර පුෂ්පවල සිදුරු ඇති කරයි. මොවුන්ගේ බිත්තර ශාක මත ද පිලා අවධිය ශාක අතර ද දක්නට ලැබේ.
මර්ධනය - පිලා අවධිය, කීට අවධිය අති ඉවත් කළ හැකි අතර, Imidacloprid වැනි සංස්ථානික කෘමිනාශකයක් යෙදීම මගින් මර්දනය කළ හැක

2. කඳ පනුවාගේ හානිය
ඩෙන්ඩ්‍රොබ්යම් වැන්ඩා වැනි ශාකවලට බෙහෝවිට හානි කරයි’ සළඹයා පත‍්‍ර මත බිත්තර දමන අතර කීට යා ද කඳ තුළ අභ්‍යන්තර පටක කා දමමින් ජීවත් වේ. කෝෂ ගතවීම මාධ්‍ය්‍යයේ හෝ කඳ තුළ සිදු කරයි. කීටයා හාවි නඵ බමු ශාකයේ අග‍්‍රස්ථ පත‍්‍රය කහ පැහැයට හැරෙන අතර, ශාකයේ අග‍්‍රස්ථයේ කඳේ තැනින් තැන සිදුරු දක්නට ලැබේ. පසුව ඒවායින් අපද්‍රව්‍ය පිටතට පැමිණේ. පසුව ශාකයම විනාශ වී යයි මර්ධනය. (සංස්ථාපිත කෘමි නාහකයක් බිවිතා කල හැක)

sulphur diazinon

3. මයිටාවන්ගේ හානිය
ඉතා කුඩා ජීවීන් වන අතර මොවුන් පත‍්‍රවල යටි පැත්තේ සිට යුෂ උරා බොයි මල්වලට ද හානි කරයි. වියළි හා උණුසුම් කාළගුණික තත්ත්ව වලදී ගහනය වැඩිවේ. මොවුන්ගේ හානිය නිසා පත‍්‍රවල රිදිවන් දිලිසුමක් ඇති වී එය ක‍්‍රමයෙන් දුඹුරු හෝ කහ පැහැයට හැරෙයි. මල්වලට හානී කිරීමෙන් මල් අඹරී ඇදවී එහි ගුණාත්වය අඩුවේ.

මර්ධනය - තවානේ අවට ආර්ද්‍රතාවය හොදින් පවත්වාගෙන යාම, හානි වූ පත‍්‍ර ඉවත් කිරීම හා 80] sulphur ක් අඩංගු මයිටානාශකයක් යෙදීම

4. ළඹුවන්ගේ හානිය
මොවුන් පත‍්‍ර සූරා කෑම හෝ සම්පූර්ණ පත‍්‍රයම ආහාරයට ගැනීම සිදුරයි. පත‍්‍ර රෝල් කර පිලා අවස්ථා ගත කරයි. පුස්ප අංකුර වලට ද හානි කරයි.
මර්ධනය - සුදුසු කෘමි නාශකයක් භාවිතා කිරිම
5. කොරපොතු කෘමීන් හා පිටි මකුණන්
මොවුන් යුෂ උරාබොන කෘමින් වන අතර සාමාන්‍යයෙන් පත‍්‍රවලට හානි කරයි. උග‍්‍ර අවස්ථාවලදී කද මත දක්නට ලැබේ. මොවුන් දේහයෙන් ශ‍්‍රාවය වන සීනි අඩංගු ශ‍්‍රාවය නිසා කුහුඹුවන් ඇදී එයි. එය විශාල වශයෙන් ගහනය වැඩි වූ විට කළු පුස් ඇති වේ.
මර්ධනය - සුළු වශයෙන් සිටී නම් තද වතුර පහරක් යෙදීම හෝ අතින් ඉවත් කිරීම බහුලව සිටීනම් සංස්ථානික කෘමි නාශකයක් යෙදීම උදා - Imidacloprid
ගොළුබෙල්ලන් හා හම්බෙල්ලන් මොවුන් දිවා කාලයේ බදුන් තුළ සැගවී සිට රාතත‍්‍රි කාලයේ දී හානි කරයි. මල් අග‍්‍රස්ථය ළපටි පත‍්‍ර පුෂ්ප අංකුර පිපුනු මල් හා බීජ පැළ ආහාරයට ගනී
 

 

මර්දනය

අතින් ඉවත් කිරීම හෝ ඇමක් ලෙස Metadehyde අඩංගු meta වැනි ගොළුබෙලි නාශකයක් භාවිතා කළ හැක.

වගාව සඳහා සුදුසු ස්ථානයක් තෝරා ගෙන පසුව එහි සෙවන ශාකයක් සකස් කළ හැක. මේ සඳහා උඩවැඩියා ගණයට අවශ්‍ය පරිදි සෙවන දැල් තෝරා ගත යුතුය.

 

සැකසුම
ඉරෝෂිනී අන්ද්‍රාදි
මල් වගාව පර්යේෂණ හා සංවර්ධන අංශය
ජාතික උද්භීත උද්‍යාන දෙපාර්තමේන්තුව - පේරාදෙණිය



අතමිට සරු කරන ලොකු ළූණූ වගාව

14 big onion 01

අතමිට සරු කරන ලොකු ළූණු වගාවේ ගුණාත්මක අස්වැන්නක් සඳහා බිංදු ජල සම්පාදන භාවිතය.

මෙරට වාර්ෂිකව ලොකු ළූණූ මෙ.ටොන් 280000ක ජාතික අවශ්‍යතාවයක් පවති. වර්තමානයේ දී නිෂ්පාදනය කරනු ලබන්නේ මෙ.ටොන් 50000 - 60000ක පමණ ප්‍රමාණයකි. ඉහත ඉලක්කය සැපිරිම සඳහා වන අභියෝගතා අතර ඒකක අස්වැන්න ඉහළ නැංවිම, මනා ජල කළමණාකරනය, පෝෂක කළමනාකරණය හා කම්කරු ශ්‍රමය ලබා ගැනීම ආදි කරුණු සඳහා වර්තමානයේදි වැඩි වශයෙන් සලකා බැලිය යුතුව ඇත.

එමගින් නිෂ්පාදන පිරිවැය තීරණය කරනු ලබයි. ඒ අනුව මෙහි වඩා ඵලදායි තාක්ෂණ භාවිතයක් ලෙස මීට කන්න කිහිපයකට පෙර මහ ඉළුප්පල්ලම ක්‍ෂේත්‍ර බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය විසින් හඳුන්වාදුන් තාක්ෂණික කට්ටලයක් වන බිංදු ජල සම්පාදන තාක්ෂණ පද්ධති ලොකු ළූණූ වගාව සඳහා මධ්‍යම රජ‍යේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මුල්‍ය දායකත්වයෙන් හා මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පූර්ණ තාක්ෂණික අනුග්‍රහය ඇතිව මේ වන විට ලොකු ළූණූ වගාව සඳහා හඳුන්වාදෙනු ලැබේ. එමගින් 2022 යල කන්නයේ දී ගුණාත්මක ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට හැකි වෙනු ඇතැයි අපේක්ෂා කෙරේ

බිංදු ජල තාක්ෂණය භාවිතයෙන් ලැබෙන ප්‍රතිලාභ

  • හෙක්ටයාරයට කිලෝ 40000 ක අස්වැන්නක්
  • මතුපිට ජල සැපයුමට වඩා 60% ක ජල ඉතිරියක්
  • ජල සම්පාදනය, වල් මර්ධනය හා පොහොර සැපයීමට අවම ශ්‍රමයක්
  • රසායන පොහොර බෝග වර්ධනය අනුව පද්ධතිය මගින් සැපයීමේන් ඒකාකාර අස්වැන්නක් හා අවම පිරිවැයක් ජලසම්පාදනයට වැය වන බලශක්ති ඉතිරියක් , විශාල ශ්‍රම ඉතිරියක් , පද්ධතිය නඩත්තුව ඉතාම පහසුවන ලෙස සකසා ඇත. රෝග පළිබෝධ හානි අවම ගුණාත්මක ලොකු ළූණු අස්වැන්නක්.

බිංදු ජල සම්පාදන පද්ධති ලොකු ළූණූ වගාව සඳහා භාවිතයේ තාක්ෂණ කට්ටලය ක්ෂේත්‍රයේ භාවිතය

 


14 big onion 01බිම් සැකසීම

  • මුලික බිම් සැකසීම
    තැටි නගුල, මෝල් බෝල්ඩ් නගුල ආදාරයෙන් අගල් 8 -10 ගැඹුරට බිම පෙලීම, ද්විතීකවකැට පොඩිකර සියුම් වයනයක් ලෙස පස සකසා ගැනීම.ක්ෂේත්‍රයේ වැඩි ජලය හොදින් ඉවත්කල හැකි පරිදි කානු පද්ධතිය සහිතව පාත්ති වෙන් කිරීම කල යුතුයි.
  • පාත්ති සැකසීම
    වගා පාත්තියක් සැකසීමේ දි පළල මීටර 01ක් වන ලෙස හා දිග පාත්තියක් මීටර 20 ක උපරිමයක් සහිතව පාත්ති සැකසීම. දෙපස කානුව පළල හා ගැඹුරු අගල් 9 ක පමණ තිබීම ජලවහනයට වැදගත් වේ.
  • කාබනික පොහොර හා මූලික රසායන පොහොර යෙදීම.
    පැළ සිටුවීමට අවම දින දෙක තුනකට ප්‍රථම අනිවාර්යයෙන් වගා පාත්ති සඳහා කාබනික පොහොර වර්ග මීටරයට කිලෝ ග්‍රෑම් 1- 1.5 ක් යෙදීම. (ගොම පොහොර,කොළ පොහොර, කොම්පෝස්ට්, හොදින් දිරූ කුකුළ් පොහොර) කාබනික පොහොර යොදා පාත්තියේ මතුපිට පස සමඟ කවලම් කල යුතුය. ඒ සමඟ මූලික රසායන පොහොර නිර්දේශය ද පසට එක් කිරීම කරන්න.

 

14 big onion 02බිංදු ජල පද්ධතිය ක්ෂේත්‍රයේ පිහිටුවීම

 

ඉහත රූපයේ පරිදි ක්ෂේත්‍රයේ බිංදු ජල පද්ධතිය ස්ථාපනය කරගත යුතුය.

  • පාත්තියේ පළල මීටර් 1 ක්
  • එක් පාත්තියක දිග මීටර් 20
  • එක් පාත්තියකට පාර්ශ්වික නල 02 02 කි
  • පාර්ශ්වික නලයක විසර්ජක (ඩ්‍රිපර්) දෙකක් අතර පරතරය 30 cm
  • ළූණූ පැළ හා පේළි අතර පරතරය 10 cm

වියලි කලාපයේ පවතින ජලයේ ස්වාභාවය අනුව පද්ධතියට දැල් පෙරන හෝ තැටි පෙරණ (ෆිල්ටර්) භාවිතා කල යුතුයි. මේ පද්ධතිය සඳහා විසර්ජක ( ඩ්‍රිපර්) භාවිතයේදි ස්වයංක්‍රියව ජලය මගින් පිරිසිදු වන වන විසර්ජක භාවිතය පද්ධතියේ නඩත්තුව හා භාවිතය පහසුවේ. පැයට ලීටර 2 හෝ 4 ජලය නිදහස් කරන ඩ්‍රිපර් මේ පද්ධතිය සඳහා යොදා ගනු ලබයි.සියලුම පාර්ශවික නල සවි කිරීමේ අතින් සිදු කල හැකි බැවින් ක්ෂේත්‍රයේ ස්ථාපනය කිරීම මෙන්ම හා වගාව අවසන් විට පද්ධතිය ක්‌ෂේත්‍රයෙන් ගලවා තැබීම ගොවි මහතාට පහසුවෙන් පැය 02 - 03 කින් සිදු කල හැකිය.

 

පැළ සිටුවීම

තවානේ දින 35 - 40 ගත වූ නිරෝගි දිරිමත් පැළ සිටුවීම සඳහා භාවිතා කරනු ලබයි. සිටුවීමේ දී පේළි අතර හා පැළ අතර සෙන්ටිමීටර 10 ( අගල් 3.5) පරතරයට පැළ සිටුවීම කල යුතුය.

වසුන් යෙදීම

පැළ සිටුවා දින 07 -10 දී පේළි අතර වර්ග මීටරයට පිදුරු ග්‍රෑම් 400-500ක්පමණ භාවිතා කර මතුපිට වසුනක් ලෙස පිදුරු අතුරා ගන්න. මෙමගින් වල් පාලනය හා පාත්ති වියලීම වළක්වා ගත හැක. පසුව පිදුරු පොහොරක් ලෙස ද ක්‍රියාකරන බැවින් එය වැඩි අස්වැන්නක්ලැබීම සඳහා ද බලපානු ලබයි.

14 big onion 01

ජල සම්පාදනය

  • ජල ප්‍රමාණය
    බිංදු ජල සම්පාදන පද්ධතියේ පැයකට ලීටර 04 නිකුත් කරන ජල විසර්ජක(ඩ්‍රිපර්) භාවිතා කරන විට වියලි කලාපීය තත්ත්ව යටතේ මැයි,ජුනි,ජුලි මාසවලදී නම් මිනිත්තු 30 ක කාලයක් පද්ධතිය ක්‍රියාත්මක කිරීමෙන් වගාවට දෛනික අවශ්‍ය බෝග ජල අවශ්‍යතාවය සැපයිය හැකිවේ.
  • ජලය සපයන කාලය
    කෙසේ වුවද දිනක් හැර දිනක් ජල සම්පාදනය කිරීම ලොකු ළූණු වගාවට හා ලොකු ළූණූ බීජ වගාවට ප්‍රමාණවත් වන අතර වර්ෂා සහිත කාලයක නම් ජලසම්පාදන කාලන්තරය දිගු කල යුතුවේ.

 

පොහොර යෙදීම

පහත වගුවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් නිර්දේශකර ඇති රසායන පොහොර ප්‍රමාණය වගා වපසරය අනුව ගණනය කර කොටස් වශයෙන් පද්ධතියේ වෙන්චූරි කොටස හරහා වගාවට ලබා දිය හැක. එමගින් බෝග පැළ අසලට පමණක් පොහොර දියකර යෙදීම මගින් පොහොර අනවශ්‍ය ලෙස ‍පරිසරයට මුදා හැරීම හා අපතේ යාම සිදු නොවේ. එමගින් වඩා කාර්යක්ෂමව පොහොර ශාකවලට අ‍වශෝෂණය කිරීමට හැකියාව ලැබේ.

අවස්ථාව

යුරියා (කි.ග්‍රෑ)

TSP (කි.ග්‍රෑ)

MOP (කි.ග්‍රෑ)

මූලික පොහොර

26

40

20

මතු පිට පොහොර සති 02

26

   

මතු පිට පොහොර සති 06

26

 

10

සියලු අවස්ථාවන් සඳහා එකතුව

78

40

30

 

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් අක්කරයකට නිර්දේශ කර ඇති පොහොර ප්‍රමාණය

අක්කරයක් සඳහා රසායන පොහොර නිර්දේශය බිංදු පද්ධතිය මගින් කොටස් වලට බෙදා ලබා දෙන ආකාරය

අවස්ථාව

යුරියා (කි.ග්‍රෑ)

TSP (කි.ග්‍රෑ)

MOP (කි.ග්‍රෑ)

මූලික පොහොර පැල සිටුවීමට දින 02ට පෙර පසට එකතු කිරීම - පද්ධතිය යෙදීමට ප්‍රථම යොදන්න

26

40

20

සති 01 සිට දිනක් හැර දිනක් (අවස්ථා 10 ක් ) පද්ධතිය මගින් ලබා දීම

2.6

-

-

සති 04 සිට දිනක් හැර දිනක් (අවස්ථා 10) පද්ධතිය මගින් ලබා දීම

2.6

-

1(අවස්ථා 10)

සියලු අවස්ථාවන් සදහා එකතුව

78

40

30

 

රෝග හා පළිබෝධ පාලනය

ලොකු ළූණු වගාව සඳහා බහුලවම වැළදෙන රෝග පළිබෝධ අතරින් දිලීර හානි ලෙස ඇන්ත්‍රැක්නෝස් හානිය, දම්පැල්ලම් රෝගය හා දිලීර හා බැක්ටීරියා බල්බ කුණුවීම ප්‍රමුඛ වේ. ඒ සඳහා ජලවහනය දියුණු කිරිම, නිර්දේශය ඉක්මවා පොහොර භාවිත නොකිරීම හා නිරන්තර සුපරික්ෂාවෙන් සිට නිර්දේශිත රෝග හා පලිබෝධ පාලන පැකේජය මුල සිටම ක්‍රියාත්මක කිරීමෙන් රෝග පළිබෝධ පාලනය කල හැකිවේ.

පැළ සිටුවා දින 75 දී වගාවට ජලය සැපයුම නවතා දැමිය යුතුයි. පසුව දින 85 - 90 වන තෙක් ක්ෂේත්‍රයේ අස්වනු නෙලීම දක්වා ලොකු ළූණූ ගසේ ගෙල කොටස ස්වාභාවිකව කඩා වැටෙන තෙක් තැබීම. පසුව අස්වනු නෙලා මද පවනේ දින කිහිපයක් තබා අලෙවිය සඳහා සුදානම් කිරීම හෝ බල්බ ගබඩා කර තබා ගත යුතුයි.

බීජ නිෂ්පාදනය සඳහා මව් බල්බ කල් තබා ගන්නේ නම් ඒ සඳහා ග්‍රෑම් 60 -70 බරැති රෝග පළිබෝධවලින් තොර වු මේරු මව් බල්බ තෝරා ගබඩා කර තබා ගත යුතුයි.

ලොකු ළූණූ වගාව හැරුණු කොටගෙන කෙටි පරතර ඇති එළවළු බෝග සඳහා (බීට්, නෝකෝල්,රාබු, ගෝවා, මල්ගෝවා) වැනි වගාවන් සඳහා ද භාවිතා කල හැකිවීමෙන් භූමි ඵලදායිතාවය ඉහළ නැංවීම තුලින් වැඩි ආදායමක් කන්නයක් තුල ලබා ගත හැකිවීම.

බිංදු ජල සම්පාදන තාක්ෂණ කට්ටලය භාවිතයේ අමතර භාවිතයන්

මිරිස්, මුං, කව්පි, රටකජු , බඩඉරිගු වැනි අතිරේක ආහාර බෝග සඳහා ද ලොකු ළූණු වගාව අවසන් කර භාවිතා කල හැකි වීම.

14 big onion 02

                  

සැකසුම
සම්පත් ගුණවර්ධන
කෘෂිකර්ම උපදේශක (වි.භා.නි)
සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය
දඹුල්ල

සුළු පරිමාණ කිරි ගොවිපල සංවර්ධනය

˜කිරි ගවයන් ඇති කිරීම යනු විවිධ වෘත්තීන් අතරින් ඉතාමත් දුෂ්කර මෙන්ම අභියෝගාත්මක රැකියාවකි. කිරි දෙවීම, ගව පාලනය හා ගවයන් පිරිසිදු කිරීම,තණකොළ කැපීම ආදී කටයුතු සෑම දිනකම ඉටු කල යුතුය˜

13 dairy 01ගවපාලනය මෙරට ග්‍රාමීය ආර්ථිකය තුළ ඉතාමත් සුවිශේෂි මෙහෙවරක් ඉටුකරනු ලබයි. රටේ කිරි නිෂ්පාදනයන් වැඩිම ප්‍රතිශතයකට දායක වන්නේද ලක්‍ෂ03කට ආසන්න වන කිරි සුළු පරිමාණ සාම්ප්‍රදායික කිරි ගොවීන්ය.සැකසුම්කරුවන්ට අලෙවි කරනු ලබන කිරි වෙනුවෙන් දිනකට ගොවීන් අතට ගමන් කරන මුදල රුපියල් ආසන්න වශයෙන් මිලියන 80කි. මහා පරිමාණ ආයෝජකයන් වැඩි විශ්වාසයක් මතුවෙමින් තිබුනද දීර්ඝ කාලයක් මුළුල්ලේ කිරි කර්මාන්තය රැකගත් සුළු පරිමාණ කිරි ගොවීන් දියුණු කිරීමේ සඳහා වන අවධානය මදකින් හෝ අඩු නොවිය යුතුව ඇත. විශේෂයෙන්ම මෙම පිරිසෙන් අති බහුතරය අඩු ආදායම් ලාභි පිරිසක් වන බැවින් රාජ්‍ය යාන්ත්‍රණයේ වැඩිම දායකත්වයක් මෙම පිරිස් වෙතයොමු කළ යුතුව ඇත.

කිරි ගවයන් ඇති කිරීම යනු විවිධ වෘත්තීන් අතරින් ඉතාමත් දුෂ්කර මෙන්ම අභියෝගාත්මක රැකියාවකි. කිරි දෙවීම, ගවගාල හා ගවයන් පිරිසිදු කිරීම, තණකොළ කැපීම ආදී කටයුතු සෑම දිනකම ඉටුකළ යුතුය. අධික වර්ෂාව,ගංවතුර,නියඟය,ජලය හිඟ වීම ආදී වූ කුමන පාරිසරික තත්ත්වයන් තිබුණද ගවගාලේ කටයුතු මඟ හැරිය නොහැක. එසේම රෝගී වීම, පවුලේ උත්සව, මරණ, විනෝද හෝ වන්දනා චාරිකා ආදී කුමන කරුණු යෙදුනද ගවගාලේ කටයුතු එක් දිනකින් හෝ මඟ හැරිය නොහැක. කිරි ගව පාලනයේ පවතින මෙම ආවේණික දුෂ්කරතා නිසාම කෙතරම් හොඳ ආදායමක් ලැබුණද ආකර්ශනිය රැකියාවක් බවට පත්ව නැත. එසේ තිබියදී කිරි සඳහා හොඳ මිලක් නොමැතිකම, තාක්‍ෂණික සේවාවල දුර්වලතා, අලෙවි කිරීම් ගැටළු අඩු සමාජ පිළිගැනීම ආදී විවිධ හේතු මත සැළකිය යුතු ආදායමක් සහිත පිරිස් ක්ෂේත්‍රයට පැමිණිමේ ප්‍රවණතාවය ඉතාමත් අල්පය. එම තත්ත්වය මත කිරි ගව පාලනය ග්‍රාමීය සහ වතු ආශ්‍රිත වරප්‍රසාද අහිමි දරිද්‍රතාවයන් පෙලෙන පිරිසකගේ කර්මාන්තයක් බවට පත්ව ඇත. නැති බැරි කමින් පීඩා විදින කොතරම් පිරිස් සිටියද ගවපාලනයට යොමුවන්නේද ඒ අතරිනුත් සුළු පිරිසක් පමණයි. සියළු දුෂ්කරතා දරාගෙන අලස බවින් තොරව උපරිම කැපවීමකින් කටයුතු කරන අතිශයින්ම ධෛර්යවන්ත පිරිසක් පමණක් කිරිගව පාලනයේ නිරත වන බව අවසාන වශයෙන් හඳුනාගත හැක.

පවතින කිරිගොවිපල

13 dairy 01සාම්ප්‍රදායික සුළු පරිමාණ කිරි ගොවිපල තුල සතුන් 1015 සිටින අවස්ථා තිබුණද බොහෝ විට නඩත්තු වනුයේ ගවයන් 1-5 අතර ප්‍රමාණයකි. එම ගොවිපල සියල්ලම මූලික ලෙසම සාම්ප්‍රදායික දැනුම මත ක්‍රියාත්මක වන අතර පෝෂණය, සතුන්ගේ සුව පහසුව, සනිපාරක්‍ෂාව, ලෙඩ රෝග වළක්වා ගැනීම, ගව නිවාස, අභිජනන කාර්යක්‍ෂමතාවය ආදී ගොවිපලේ නිෂ්පාදනයට හා ලාභදායි බවට සෘජුවම බලපාන අංශවල නව දැනුම භාවිතා කිරීමේ ප්‍රවණතාවය අඩුය. එහි ප්‍රතිඵලයක් ලෙස බහුතරයක් ගොවිපල ඉතාමත් අඩු ඵලදායිත්වයෙන් හා නිෂ්පාදන මට්ටමකින් යුක්තව ක්‍රියාත්මක වනු ලබයි. ගොවිපලවල නිෂ්පාදනය පිළිබඳ නිසි දත්ත හිඟ වුවද 2007 වර්ෂයේ මධ්‍යම පළාත තුල සිදුකළ ගොවිපල සංඝනණයේ දත්ත අධ්‍යයනයේදී මෙම තත්ත්වය හොඳින් පැහැදිලි වනු ඇත. පළාත තුල පැවති ගොවිපල 18573 ක් සංගණනයට ලක් වූ අතර ඉන් ලීටර 20කට වැඩි නිෂ්පාදනයක් පැවතියේ ගොවිපල 851කපමණි. ඉන් ගොවිපල 36ක් ලීටර 50-100 අතරත් ගොවිපල නමයක් ලීටර 100 වැඩි නිෂ්පාදනයක් තිබුණි.මෙම කිරි නිෂ්පාදනයන් 37% කට දායකත්වයක් සපයන මධ්‍යම පළාත තුල සමස්ථ ගොවිපල අතරින් 95% ක දෛනික නිෂ්පාදනය ලීටර 20ටඅඩුය. රුපියල් 100ක් වන වර්තමාන මිල අනුව මුළු කිරි ගොවිපල අතරින් 95% කටම ලැබෙනුයේ රුපියල් 2000 කට අඩු මුදලකි. ලීටර දහයට අඩු නිෂ්පාදනයක් ඇති ගොවිපලක්නම් එම මුදල රුපියල් 1000 කට අඩුය. පවතින ගොවිපල අතරින් බහුතරයක නිෂ්පාදනය ලීටර දහයට අඩු බව ප්‍රායෝගික අත්දැකීම් අනුව ස්ථිරවම සටහන් කළ හැක.
මෙම පසුබිම තුළ පූර්ණකාලීන ගවපාලනයේ නිතර පිරිස් ඉතාමත් සීමිත අතර බහුතර දෙනා එහි නිරත වනුයේ අමතර ආදායම් මාර්ගයක් ලෙසය. එම පිරිස් තම රැකියාවෙන් පසු ඉතිරි වන සීමිත කාලය කැපකර අඩු වියදමකින් සපයාගත හැකි ස්වභාවික ශාක ආහාර භාවිතා කරමින් ඉතාමත් සාම්ප්‍රදායික ලෙසම ගව පාලනයේ නිතර වනු ලබයි. ඔවුන් ඉතා ඉහළ නිෂ්පාදනයක් ඇති සතුන් නඩත්තු කිරීම, තමාගේම තෘණ වගා ස්ථාපිත කිරීම, ගව ගොවිපල පුළුල් කරගැනීම කෙරේ ඉහළ අවධානයක් යොමු කරන්නේ නැත. මේ නිසාම ග්‍රාමීය සුළු පරිමාණ ගොවිපල පුළුල් කිරීම හා නවීන තාක්‍ෂණය වෙත යොමු කිරීම අතිශයින්ම දුෂ්කරය.
මෙලෙස මෙරට කිරිගව ක්ෂේත්‍රයේ පවතින දුෂ්කර බව, ප්‍රියමනාප නොවීම, අඩු නිෂ්පාදනය, නිසි ආදායමක් නොලැබීම මෙන්ම ගව පාලනයේ නිතර පිරිස් සඳහා හොඳ සමාජ පිළිගැනීමක් නොමැති වීම ඇතුළු විවිධ සාධක හේතුවෙන් කිරිගව පාලනයේ ආකර්ශණිය කර්මාන්තයක් බවට පත්ව නැත. ඒ නිසාම එම ක්ෂේත්‍රය පහත අර්බුදයන්ට නිරතුරුවම මුහුණ දෙනු ලබයි.

  1. 13 dairy 01කිරිගව පාලනයේ නිරත පිරිස් ක්ෂේත්‍රයෙන් ඉවත්වීම.
    කිරිගොවීන්ගේ පවුලකද සැළකිය යුතු ආදායම් මාර්ගයක් ස්ථාපිතවීම කිරිගව පාලනයේ ඉවත්වීම සඳහා ප්‍රබල උත්තේජනයක් වනු ලබයි. ත්‍රී රෝද රථයක් මිල දී ගැනීම, කුමන හෝ රැකියාවක් ලැබීම, පවුලේ අයෙකු විදේශගත වීම ආදී අවස්ථා වලදී ගොවීන් ක්ෂේත්‍රයෙන් ඉවත්වනු ලබයි. විශේෂයෙන්ම දරුවන් ඉගෙනගෙන ආකර්ශනීය රැකියාවක් ලැබු පසු කිරිගව පාලනයේ ඉවත් වීම සඳහා දෙමාපියන්ට වන බලපෑම විශාල ලෙස ඉහළ යයි. කිරිගව පාලනයේ වර්තමාන තත්ත්වය මත ඒපිළිබඳව පුදුම වීම හෝ කම්පාවීම සාධාරණ නැත.
  2. කිරිගොවීන්ගේ ඊළඟ පරම්පරාව ක්‍ෂේත්‍රයට නොපැමිණීම.
    කිරිගොවීන්ගේ දරුවන් ගවපාලනයට යොමු නොවීම බොහෝ විට ගැටළුවක් ලෙස හඳුනා ගනු ලබයි. දරුවන්ට ඉගැන්වීම සඳහා අනන්ත දුක්විදින ගොවීන් තම දරුවන් ගවපාලනයට පැමිණිම ප්‍රාර්ථනා නොකරන අතර තමන්ට වඩා යහපත් අනාගතයක් ප්‍රාර්ථනා කරනු ලබයි. එය ඉතාමත් ස්වභාවික අතර එම දරුවන් ගවපාලනයට යොමුකිරීමට උත්සාහ කිරීම ප්‍රායෝගික හෝ සාධාරණ නැත.
  3. තරුණ පිරිස් ක්ෂේත්‍රයට නොපැමිණීම.
    කිරිගව පාලනයේ අපේක්‍ෂිත නවීකරණ සඳහා තරුණ හා ව්‍යසායක හැකියාවන්ගෙන් යුත් පිරිස් පැමිණීම ඉතාමත් වැදගත් වුවද එය සිදුවන බවක් දැකිය නොහැක. විශේෂයෙන්ම මෙරට බහුතර තරුණ තරුණියන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ තලයක ඇති පසුබිම තුල ඔවුන් යම් පිළිගැනීමක් සහිත රැකියා බලාපොරොත්තුවනු ලබයි. මෙම තත්ත්වය සමස්ථ කෘෂිකර්ම ක්ෂේත්‍රයම මුහුණදෙන ගැටළුවක් වන අතර රට තුල රැකීරක්‍ෂා සුලබවන ආර්ථික හා කර්මාන්ත වර්ධනයත් සමඟ මෙම ගැටළුව තවත් උග්‍ර වනු ඇත.


කිරිගව පාලනයේ නිතර පිරිස් ඉවත්වීම හා තරුණ පිරිස් ආකර්ශණිය නොවීම පිළීබඳ කරුණූ කෙතරම් සත්‍යය වුවද ගව පාලනයට තවදුරටත් පිරිස් ආකර්ශණය නොවන බවක් ඉන් අදහස්වන්නේ නැත. තරුණ පිරිස් වයස අවුරුදු 35-40 වනතුරු රැකියා සොයා ගොස් නොලැබුණු බොහෝ දෙනෙකු එකතුවේ. එසේම වතුකම්කරු ඇතුළු කම්කරු මට්ටමේ රැකියාවලින් විශ්‍රාම ගන්නා සැලකිය යුතු පිරිසක් නිති පතා ක්ෂේත්‍රයට පැමිණේ.

මෙලෙස පැමිණෙන බහුතර දෙනා වෙනත් විකල්ප නොමැතිකමින් ගවපාලනයට යොමුවන බව පවතින යථාර්ථයයි. ඒනිසාම තවදුරටත් ගවපාලනයේ නිරත වනුයේ අඩු ආදායම් ලබන ව්‍යවසායක හැකියාවෙන් තොර සාම්ප්‍රදායික අදහස් සහිත පිරිසකි. මෙම තත්ත්වය හේතුවෙන් මෙරට බහුතර ගොවිපල දියුණූ සංවර්ධිත ගොවිපල බවට පරිවර්තනය කිරීම යථාර්ථවාදී නැත. මෙම තත්ත්වය මත මෙරට කිරි නිෂ්පාදනය ඉහල නැංවීමට සාම්ප්‍රදායික කිරිගොවීන් මත විශ්වාසය තැබීම ප්‍රායෝගික නොවන බවට යම් විද්වතුන් සමහර අවස්ථාවලදී මත පලකරනු දැකිය හැක.

නමුත් මෙරට සාම්ප්‍රදායික සුළු පරිමාණ කිරිගව පාලනය විවිධ අංශයන්ගෙන් සුවිශේෂි මෙහෙවරක් ඉටුකරනු ලබන අතර මෙම ක්ෂේත්‍රය තවදුරටත් ශක්තිමත් කිරීම හරහා එම ප්‍රතිලාභ තවදුරටත් පුළුල් කරගත හැකි වනු ඇත.

  1. ගොවීන්ට ආර්ථිකය ශක්තිමත් වීම :- කිරි අලෙවියෙන් ලැබෙන සුළු මුදල වුවද පවුලේ ආර්ථිකයට ඉමහත් ශක්තියකි.
  2. පවුලේ පෝෂණ තත්ත්වය ඉහලයාම :- ගොවිපලේ නිපදවන කිරි පරිභෝජනය කිරීම මෙන්ම ලැබෙන ආදායමක් වෙනත් ආහාර මිලදී ගැනීමේ ඉඩ පුළුල් වීමෙන් කිරිගොවි පවුල්වල පෝෂණය ඉහල නංවනු ලබයි.
  3. ගොවීන්ගේ දරුවන්ගේ අධ්‍යාපනයට ශක්තියක් වීම:- දරුවන්ගේ පෝෂණ මට්ටම ඉහළ යාමත් අධ්‍යාපනයට වැයකළ හැකි හැකියාව ඉහළයාමක් සිදුවන බැවින් එම දරුවන්ට හොඳ අනාගතයක් උරුම කර දීමට ප්‍රබල පිටුබලයක් වේ.
  4. කිරිගවයන් ප්‍රාග්ධන සංචිතයක් වීම:-අතීතයේ සිටම ගවයන් හඳුනාගනු ලබන්නේ පහසුවෙන් මුදල් බවට පත්කළ හැකි වත්කමක් ලෙසය. විවාහ උත්සව, කෘෂිකාර්මික කටයුතු, මරණ ආදී කුමන හෝ හදිසි මුදල් අවශ්‍යතා සපුරා ගැනීම සඳහා වන ප්‍රාග්ධන සංචිතයන් ලෙස සුවිශේෂි මෙහෙයක් ඉටුකරනු ලබයි.
  5. ග්‍රාමීය ආර්ථිකයට වන ශක්තිය:- දිනකට නිපදවන කිරිවල වටිනාකම වන රුපියල් බිලියන 70ක මුදලක් වැඩිම කොටසක් සාම්ප්‍රදායික ගොවීන් හරහා ග්‍රාමීය ආර්ථිකයට ගලායනු ලබයි. උදාහරණ ලෙස දිනකට ලීටර් 1000ක් නිපදවන පශු වෛද්‍ය කොට්ඨාශයක මසකට ග්‍රාමීය ආර්ථිකයට ගලායන මුදල රුපියල් ලක්‍ෂ 30කි. (100 x 1000 x 30)
  6. දේශිය කිරි නිෂ්පාදනයට දායකත්වය :- වර්තමානය වනවිට රටතුළ නිපදවන සමස්ථ කිරි නිෂ්පාදනයෙන් වැඩිම ප්‍රතිශතයක් ලැබෙනුයේ සුළු පරිමාණ ගොවිපල තුලිනි. සුපිරි ගොවිපල ඉදිකිරීමේ අපේක්‍ෂිත ඉලක්ක ළඟා වුනද කිරි නිෂ්පාදනය අපේක්‍ෂා මල් ඵලගැන්වීමටනම් තවදුරටත් වැඩිම දායකත්වය සුළු පරිමාණ ගොවිපල තුලින් ලැබීමට සිදුවනු ඇත.
  7. වෙනත් රැකියා සුලබවීම :- කිරි එකතුකිරීම, සත්ත්ව ආහාර අලෙවිය, කිරි සැකසුම් අංශය ආදී වූ විවිධ ක්‍ෂේත්‍රයන්හි රැකියා අවස්ථා සුලබ කිරීම සඳහා කිරිගව පාලනය දායක වනු ඇත.

 

13 dairy 01සාම්ප්‍රදායික සුළු පරිමාණ කිරිගොවිපල මඟින් ඉටුවන මෙම සාධනීය දායකත්වය හඳුනාගැනීම තුළ රට තුළ පවතින සුවිශේෂි අර්බුද ගණනාවකට සාම්ප්‍රදායික ගොවිපල ප්‍රචලිත කිරීම මඟින් විසඳුම් සොයාගත හැක.

  1. දුප්පත්කම තුරන් කිරීම:-2019 මාර්තු මාසයේදී මෙරට දුප්පත්කමේ නිලරේඛාව ලෙස හඳුනාගනු ලබන 6966 කට වඩා අඩු ආදායමක් එනම් දිනකට රුපියල් 232 කට වඩා අඩු ආදායම් ලබන පිරිස් දුප්පත් ලෙස හඳුනා ගනු ලබන අතර එම පිරිස් ලක්‍ෂ 30ක් පමණ එසේම මෙරට සමෘද්ධිලාභි පවුල් ගණන ලක්‍ෂ14කි. දිනකට කිරිලීටර 6 බැගින් ලබාදෙන ගවයකු ඇතිකළ හැකිනම් මෙරට දුප්පත්කමින් බැටකන සියළුම දෙනා දරිද්‍රතා රේඛාවෙන් ඉහළට ගැනීමේ හැකියාව පවති.
  2. රටේ පෝෂණ ගැටළුව විසදීම:- රටේ දරුවන්ගේ ලක්‍ෂ තුනකට ආසන්න පිරිසකගේ වයසට නියමිත බර නැත. මෙවන් පෝෂණ ගැටළු රාශියක් රට තුළ පවතින අතර එම දරුවන්ගේ අධ්‍යාපනය සේවාස්ථානයේ ඵලදායිතාවය ඇතුළු සමස්ථ රටටම ඉතාමත් අහිතකර ලෙස බලපායි. කිරි ගවපාලනය හරහා ලැබෙන ආර්ථික ශක්තිය මෙම තත්ත්වය දුරලීම සඳහා ඉහලම පිටුවහලක් සපයනු ඇත.
  3. තාරුණ්‍යයට විකල්ප රැකියා මාර්ගයක් ලෙස :- රටේ තරුණයන්ගෙන් සැළකිය යුතු පිරිසක් ත්‍රීරෝද රථ එළවිම වැනි නිෂ්පාදනය ආර්ථිකයට දායක නොවන ක්‍ෂේත්‍රවලට පෙළඹිමේ වැඩි ප්‍රවණතාවයක් දක්නට ඇත. එසේම ග්‍රාමීය තරුණ පිරිස් විශාල ලෙස ඉදිකිරීම්, හෝටල් වෙළෙඳසැල් ආදී ක්ෂේත්‍රයන්හි රැකියා සොයා නගර වෙත පැමිණිම ග්‍රාමීය කෘෂිකර්මය ඇතුළු සමස්ථ සමාජය අර්බුදකාරි තත්ත්වයකට පත්වෙමින්ඇත. කිරිගවපාලනය ලාභදායි කිරීම හරහා තරුණ පිරිස් ඒවෙත යොමුවීමෙන් මෙම ගැටළු විසදී තරුණ ජවයෙන් රටේ නිෂ්පාදන ආර්ථිකයට වැඩිදායකත්වයක් ලබාගත හැක.
  4. කාන්තාවන් සඳහා රැකියාවකි:- මෙරට ශ්‍රම හමුදාදායකත්ව අනුපාතිකය දියුණුවෙමින් පවතින රටවලට සාපේක්‍ෂව ඉතා අඩු එනම් 5409% මට්ටමක පවතී. එසේම උපරිම ශ්‍රම හමුදා දායකත්වය 76.2% පමණ වන ප්‍රහස්ත මට්ටමක පවතින විට කාන්තා ශ්‍රම හමුදාදායකත්වය 35.1 වැනි ඉතාමත් අඩු මට්ටමක පවති. මෙම තත්ත්වය තුළ රටේ ආර්ථිකය සඳහා කාන්තා දායකත්වය ඉහළ නැංවීම ඉතාමත් වැදගත්ය. ජර්සි වැනි කුඩා ප්‍රමාණයේ පහසුවෙන් නඩත්තු කළහැකි දෙනුන් එකෙකු හෝ දෙදෙනෙකු ඇති කිරීමට කාන්තාවන් පොළඹවා ගැනීම හරහා ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා විශාල මෙහෙයක් වනු ඇත.
    මෙරට පවුල් අතරින් 20 ක්ම පිරිමින් නැති පවුල් වන අතර එම කාන්තාවන්ට නිවස අතහැර දුර බැහැර රැකියා කිරීම දුෂ්කරය. එම පිරිස්ස`සඳහා ද ගව පාලනය ඉතා හොඳ විකල්පයක් වනු ඇත. විශේෂයෙන්ම කාන්තාවන් අතට මුදල් ගලායාම දරුවන්ගේ ක්‍ෂේත්‍රය හා අධ්‍යාපනය ඉහළ නැංවිම සඳහාද සුවිශේෂි මෙහෙවරක් ඉටුකරනු ලබයි.
  5. කෘෂිභෝග ගොවීන් අතර සත්ත්ව පාලනය ප්‍රචලිත කිරීම :- කාෂිභෝග ගොවීන් සඳහා ආදායම් ලැබෙනුයේ අස්වනු නෙලන කාලයේදී පමණි. —Seasoral Income— එම පිරිස් ගවපාලනයටද යොමුවීමෙන් දිනපතා සැලකිය යුතු ආදායමක් ලබාගතහැක. එසේම ගවයන් ප්‍රග්ධන සංචිතයක් ලෙස ක්‍රියාත්මක වන බැවින් ගොවිතැන් කටයුතු අලෙවිකිරීම සිදුකළහැක. එසේම කෘෂිකර්මයේත් ඉතිරිවන (Crop Residues) ගවයන්ට ආහාර ලෙස ලබාදීමට හැකි අතර ගවයන්ගෙන් ලැබෙන ගොම, වගාව සඳහා පොහොරක් ලෙස භාවිතා කළහැක.


මෙම සුවිශේෂි ප්‍රතිලාභ කෘෂිකර්මයේ නිරත ගොවීන් වෙත සැපයීමත් ඒ හරහා රටේ කිරි කර්මාන්තයේ ප්‍රවර්ධනය හා සත්ත්ව පාලනයේ හා කෘෂිකර්මය ඒකාබද්ධ කිරීම සඳහා වැඩි අවධානයක් යොමුකළ යුතුව ඇත. එහිදී කෘෂිකර්ම සංවර්ධනයට අදාලව කටයුතු කරන ආයතන සමඟ පශු සම්පත් ක්‍ෂේත්‍රය සමීපව කටයුතු කිරීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් නිර්මාණය කරගැනීම වැදගත්ය.

මේ දක්වා සාකච්ඡා කළ කරුණූ අනුව සුළු පරිමාණ කිරි ගවපාලනය රටේ ආර්ථික හා සමාජ සංවර්ධන ක්‍රියාවලිය තුළ සුවිශේෂි මෙහෙවරක් ඉටුකරන බව පෙනීයයි. ඒ නිසාම එම සාම්ප්‍රදායික සුළු පරිමාණ කිරි ගොවිපල ආරක්‍ෂා කිරීම හා වර්ධනය කිරීම ඉතාමත් වැදගත්ය. මහා පරිමාණ නවීන ගොවිපල නිර්මාණය කිරීමසඳහා මතුව පවතින ප්‍රවණතාවය විසින් මෙම සුළු පරිමාණ කර්මාන්ත ආරක්‍ෂා කිරීමේ හා සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවය වැසීයාමට ඉඩ දීම සාධාරණ නැත. එසේම දැනට බොහෝවිට දැකියහැකි ගොවිපල නවීකරණය, යාන්ත්‍රීකරණය විශාලකිරීම ආදී ප්‍රවණතාවයක් වෙනුවට සාම්ප්‍රදායික ගොවිපල තුල පවතින යථාර්ථයට ගැලපෙන සංවර්ධන සැලසුම් හඳුනාගැනීම වැදගත්ය.

13 dairy 05

උදිත බණ්ඩාර විජේසිංහ
පශු වෛද්‍ය නිළධාරි,
සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව,
පේරාදෙණිය.

 

 

රාජ්‍ය තොරතුරු මධ්‍යස්ථානය (GIC)

Visit Government Information Center - Sri Lanka

අප අමතන්න

Reach us තැ.පෙ. 65
ගැටඹේ, පේරාදෙණිය
ශ්‍රී ලංකාව
+94 812 388336